Monday, July 4, 2022

නයි මිරිස් වගාව

 

ස්කොච්  බොනට් හෙවත් නයි මිරිස්

  අතීතයේදී කොච්චි, යකා මිරිස්, පෙට්ටි මිරිස් ලෙස හඳුන්වන ලද නයි මිරිස් වසර පුරාම මල් පිපෙන එමෙන්ම වසරකට වඩා වැඩි කාලයක් ක්ෂේත්‍රය තුළ පවත්වාගෙන යා හැකි බෝගයකි.   ගෘහාශ්‍රිත සුළු පරිමාණයෙන් වගා කළ හැකි බෝගයක් නිසාම කාබනික වගාවක් ලෙසද පෙන්වා දිය හැකිය. එමෙන්ම වර්තමානය වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාර්ථක ලෙස වගා කළ හැකි නයි මිරිස් මහා පරිමාණව ද වගා කරනු ලබයි. නයි මිරිස් ප්‍රභේදයක් වන ස්කොච් බොනට්  වර්තමානයේ විශාල වශයෙන් ලාබ ගෙනදෙන  ව්‍යාපාරයක් බවට පත් වී තිබේ.

 වසරකට වඩා වැඩි කාලයක් ආර්ථික ලාභ ලැබිය හැකි නයි මිරිස් වගාව සිදු කරන ආකාරය පිළිබඳව හඳුනාගනිමු. පළමුව වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් පවතින බීජ වර්ග තෝරා ගැනීම වැදගත් වේ.සරුවට වැඩුණු නයි මිරිස් ගසක කරල් වලින් බීජ ලබාගත හැකිය .හොඳින් ඉදුණු පසු එයින් ඉවත් කර ගන්නා බීජ දින දෙකක් තුනක් අතර කාලයක් තුළදී  තවාන් කිරීම ද වැදගත් වේ. තවාන් දැමීමට වඩා වෙළෙඳ පොළෙන් මිලට ගත් හැකි වගා තැටි සුදුසුම වගා ක්‍රමයක් වෙයි. ජීවානුහරණය කරන ලද වගා මාධ්‍ය මෙම තැටි තුලට දමාගෙන එක වළක් තුළ එක් පැලයක් ලබාගත හැකි ලෙස බීජ තැන්පත් කිරීම් සිදු කළ හැකියි.මේ ආකාරයෙන්  බීජ තැන්පත් කිරීමෙන් පසු එම තැටිය මතට අළු ඉසීම මගින් කෘමි උවදුරු, දිලීර රෝග අවම කරගත් හැකිය. වැසි දිය නොවැටෙන ලෙස සාමාන්‍ය හිරු එළිය යටතේ මේ බීජ තුළින් පැළ ලබාගත හැක. ඒ සඳහා සති දෙකක කාලයක් ගතවේ. වර්තමානයේ නයි මිරිස් වගාව වෙනුවෙන් පොහොර වර්ග, බීජ, පැළ මෙන්ම සියලු වගා උපදෙස් ලබා දෙන ආයතන පවා නිර්මාණය වී තිබේ. එවැනි ආයතනයක් සමඟ සම්බන්ධ වීමේ හැකියාව ද පවතී. මේ සඳහා සාර්ථක මාධ්‍ය ලෙස හඳුනාගෙන ඇත්තේ වගා මළු වෙයි. නමුත් මෙය වගා මළු නොමැතිවද වගාකළ හැකි බෝගයකි. ඒ සඳහා ඉතා හොඳින් වතුර බැස යන මනා කාණු පද්ධතියකින් යුතු බිමක් සකස් කරගැනීම අවශ්‍ය කරුණක් වේ. වගා තැටි තුළ තැන්පත් කරගත් බීජ පැළ බවට පත්වූ පසු වගා මළු හෝ සකස් කරගන්නා ලද බිමෙහි රෝපණය කළ යුතුය.

ඝන අඩි එකක ප්‍රමාණය සහිත වලක් මෙම පැළ සිටුවා ගැනීම සඳහා වැදගත් වේ. එමෙන්ම පැළ අතර දුර අඩි දෙකක් වීම ප්‍රමාණවත් වේ . සෙවන සහිත බිම් කඩක් නයි මිරිස් වගාවට සුදුසු ම බිමකි. වගා කිරීමට ප්‍රථම කොම්පෝස්ට්, කුකුල් පොහොර, දිරාගිය ගොම ආදිය යෙදිය හැකිය. එ මෙන්ම රසායනික පොහොරද මේ සඳහා භාවිතා කළ හැකිය. මහා පරිමාණ වගාවකදී නම් රසායනික පොහොර භාවිතය අත්‍යවශ්‍ය කරුණකි. දියර පොහොර සහ කෘමි විකර්ශක ද යොදා ගැනීම මගින් සාර්ථක වගාවක් ලබාගත හැකිය . මෙලෙස සිටුවා ගත් වගාවක මාස තුනක සිට අස්වනු නෙලීම ආරම්භ වෙයි. මාස 3 සිට අවුරුද්දකට වඩා වැඩි කාලයක් දක්වා මනා නඩත්තුවකින් යුතුව අස්වනු නෙලිය හැකිය.අස්වනු අඩු වන කාලය වන විට කප්පාදු කිරීම ඉතාමත් වැදගත් වේ.  කප්පාදුව මඟින් ශාක නැවත වර්ධනය කරගැනීම මගින් අස්වැන්න වැඩි කරගැනීමට හැකියාව ලැබේ

 මේ නයි මිරිස් වගාවට සිදුවන ප්‍රධානතම වගා හානි පිළිබඳව අවධානය යොමු කරන විට කොළ කොඩවීම හඳුනාගන්න පුළුවනි. කොල කොඩවීම ඇතිවන්නේ කෘමිහානියක ප්‍රතිඵලයක් වශයෙනි. සත්ව සංකීර්ණයක හානි නිසා කොළ කොඩ වීම සිදුවේ.තවානේ සිට අස්වැන්න නෙළන අවස්ථාව දක්වාම විවිධ අවධීන් තුළ කොළ කොඩවීම දැකගත හැකිය .පැල මැක්කන්මයිටාවන්, කූඩිත්තන් සහ සුදු මැස්සා යන සතුන් මගින් ව්‍යාප්ත වන වෛරස් රෝග නිසා කොළ කොඩ වීම සිදුවේ.මේ සතුන් අතරින් පැළ මැක්කාගේ හානිය ප්‍රධාන වශයෙන් සිදුවන හානියයි.වර්ෂා කාලයට වඩා වියලි කාලය තුළ මේ රෝග ව්‍යාප්තිය අධිකව සිදු වේ.ඊට හේතුව වන්නේ වියලි කාලයේ තුළ මෙම සතුන් සිය ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමයි.ශාක පත්‍රයේ  උඩු පැත්ත සහ යටි පැත්ත තුළ රැඳෙමින් මෙම සතුන් ශාක පත්‍රයේ යුෂ උරා බොයි.එමඟින් නයි මිරිස් වගාව තුළ මෙම රෝග ඇතිවේ. ඒවා වළක්වා ගැනීමට කාබනික මෙන්ම රසායනික පොහොර භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. 

සුළු ඉඩ කඩක වුව ද වගා කළ හැකි නිසාම නයි මිරිස්මිරිස් වගාව මේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන උද්ධමනකාරී කාලවකවානුව තුළ ඔබටත් අමතර ආදායමක් ලබාගැනීම සඳහා සිදු කළ හැකි වටිනා වගාවක් ලෙස පෙන්වා දිය හැකියි


2 comments: