Tuesday, July 5, 2022

ආර්ථික අර්බුදය හමුවේ ජන ජීවිතය

 

ආර්ථික අර්බුදය හමුවේ ජන ජීවිතය

                      ශ්‍රී ලංකාව වනාහි ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනාගත් අතිසුන්දර රටක් ලෙස හැදින්වීම සුදුසු වේ. ස්වභාවසෞන්දර්යයේ මනරම් භාවය නිසා ම අන්‍ය රටවල් අතරින් ඉහළ ස්ථානයක රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. මිලියන 22.1 ජනගහනයකින් සමන්විත රටක් වූ ශ්‍රී ලංකාව 2021 වර්ෂය වන විට සියයට 3.3 ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන ලද රටකි.නමුත් 2022 වසර වනවිට ශ්‍රී ලාංකීය ආර්ථිකය යම්කිසි කඩාවැටීමකට ලක් වී ඇති බව ලොකු කුඩා කාටත් අවබෝධ කොට ගත හැකි කරුණකි. කාලයක් තිස්සේ පැවති ව්‍යූහමය දුර්වලතා සහ කොවිඩ් වසංගත තත්ත්වය බව ඊට හේතු වූ බව රජය අවධාරණය කරයි.ශක්තිමත් ආර්ථිකයක් යනු රටක කොඳුනාරටිය වේ.රටක ඉදිරි පැවැත්ම තීරණය කරන්නේ එම රටේ ශක්තිමත් ආර්ථිකය විසිනි .ආර්ථික අර්බුදයක් ඕනෑම අවස්ථාවක ඇතිවිය හැක.මේ ආර්ථීක අර්බුද කාලයක් තිස්සේ නොදැනුවත්ව සෙමින් සෙමින් වර්ධනය වී ආවකි.හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Ricardo hausemann සඳහන් කරන්නේ ආර්ථික අර්බුද පැමිණෙන්නේ සෙමින් සහ එකපාරටම බවයි. slowly and suddenly.ශ්‍රී ලංකාව ද මේ මොහොත වන විට විශාල ආර්ථික අර්බුදයකට මැදි වී සිටින රටක් වේ. ආර්ථික අර්බුදයක් මතු වීම ප්‍රධාන කොටස් පහක් යටතේ සිදුවිය හැකිය .ඒ ඩොලර් නැති වීමේ අර්බුදය, ණය අර්බුදය ,මූල්‍ය පද්ධතියට සිදුවන බලපෑම්, දේශපාලන අර්බුදය සහ මානුෂීය  අර්බුදය වශයෙනි.

ඩොලර් නැති වීමේ අර්බුදය නිසාම විදුලිය ,ඛනිජ තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව වීම මත අ්‍යවශ්‍ය සේවා බිඳවැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.එම නිසාම ඛනිජතෙල් ,විදුලිය මූලික කර කරගෙන ක්‍රියාත්මක වූ බොහෝ ආයතන සහ එමගින් සේවා ලබන ආයතන ක්‍රියාත්මක කරගෙන  යාමේ ගැටලු ඇති වේ.එමෙන්ම ණය අර්බුදය ද මේ සමගම ඊළඟට පැමිණෙන අදියර වේ. ජූලි මස වන විට ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ බැඳුම්කරයක් ගෙවීමට සිදුවීම සහ එහි පොලී ගෙවීමට තිබීම මත ශ්‍රී ලංකාව ණය අර්බුදයකට මුහුණ පා සිටී. එමෙන්ම එම බැඳුම්කර සහ පොලී මුදල් ගෙවා ගැනීමට නොහැකි වුවහොත් ගෙවීම් පැහැර හැරීම් මත තවත් අර්බුද කරා ගමන් කිරීමට සිදුවනු ඇත.මෙහි තුන්වන අදියර වශයෙන් මූල්‍ය පද්ධතියට බලපෑම් සිදුවේ. රජයට විශාල වශයෙන් ඩොලර් එකතු කර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට සිදුවේ.එමෙන්ම ලංකාවේ ස්වෛරී බැඳුම්කර බැංකු පද්ධතිය මගින් මිලදී ගෙන තිබීම නිසා මූල්‍ය පද්ධතියට මෙම බලපෑම් එල්ල වෙයි.ණය ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු නිසා එහි බලපෑම් බැංකු පද්ධතියට අනිවාර්යෙන්ම එල්ල වේ.හතරවන අදියර වශයෙන් දේශපාලන අර්බුදය පෙන්වාදිය හැකිය. ජනතාවට බොහෝ අප බොහෝ අපහසුතාවලට ලක් වීම මත සිය අප්‍රසාදය දේශපාලන බලාධිකාරිය වෙත එල්ල කිරීම මෙහිදී සිදුවේ. එහිදී උද්ඝෝෂණ, අරගල වැනි දේ දිගින් දිගටම සිදු විය හැකිය. එමෙන්ම ආණ්ඩුව සහ සෙසු පක්ෂ අතර නිරන්තර හැලහැප්පිලි සිදුවීම මේ තත්ත්වය තුළ ඇතිවිය හැකි ක්‍රියාවලියකි.එමෙන්ම ඊළඟ අදියර ලෙස මානුෂීය අර්බුදය පෙන්වාදිය හැකිය. මෙම තත්ත්වය උග්‍ර වීම මත මානුෂීය අර්බුදයක් කරා මෙම ආර්ථික අර්බුදය ළඟා වීමේ වැඩි අවදානමක් පවතී. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ,අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිඟ වීම වීම මත ජීවිත පවා අවදානමකට ලක් වේ .එහිදී මානුෂීය අර්බුදයක් නිර්මාණය වේ.අර්බුදයක් ඇති වන විට මෙම කොටස් පහ පිළිවෙළට සිදු වීම අනිවාර්ය නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන  ආර්ථික අර්බුදයේ ඩොලර් ප්‍රශ්නය නිසා ජනතාවට සහ ආයතනවලට බොහෝ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය. එහිදී එම පීඩනය ජනතාව දේශපාලන බලාධිකාරිය වෙත එල්ල කිරීම හෙවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වීම දෙවන අදියරයේ දී දක්නට ලැබුණි. මේ ආකාරයට මෙම අර්බුදයේ අදියර  ඕනෑම අවස්ථාවක් තුළ ඇතිවීමේ හැකි හැකියාවක් පවතී

දැන් අප අවතීර්ණ වී සිටින්නේ මෙම අර්බුදයේ අධි උද්ධමනකාරී කාලවකවානුවක් වෙතයි.මේ තත්ත්වය තුළ වියදම වැඩිවීම සහ ආදායම් අඩු වීම වැදගත් ලක්ෂණයකි. එමෙන්ම භාණ්ඩ හිඟකම සහ තිබෙන භාණ්ඩ මිළ අධික ලෙස ඉහළ යාමේ තත්ත්වය හඳුනා ගත හැකිය. සාමාන්‍ය ජනතාව වෙත වියදම් කළමනාකරණය කිරීමේ ගැටලු  පීඩන ගෙනදෙමින් එල්ල වේ. එහිදී බොහෝ පුද්ගලයන් මානසිකව කලකිරීමේ ස්වභාවයකට පත් වීමේ ඉඩකඩ පවතී.මෙයට හේතු වශයෙන් නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ  හඳුනා නොගැනීම, කලට වේලාවට ඒවා ක්‍රියාත්මක නො නොකිරීම හේතු විය.අර්බුදය ඇතිවීමට බලපාන ලද හේතු සහ ඇති වූ  අර්බුදය  වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු කාලයක් දැන් උදාවී තිබේ.ඒ වෙනුවෙන් ආර්ථික විශේෂඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සතුව ද  විශාල වගකීමක් පැවරී තිබේ.

ආර්ථික අර්බුදයත් සමඟ ජනතාවට ජන ජීවිතයට එල්ල වූ තර්ජන පිළිබඳව අවධානය යොමු කරන විට ජන ජීවිතය බොහෝ සෙයින් කඩා වැටීමකට වැටීමකට ලක් වී තිබේ. 1948 නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදය මෙයයි.ණය ගැනීම් මත දෑස් දල්වා බලාපොරොත්තු තබා ගත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ණය බර වැඩිවීම කල්තියා හඳුනා ගන්නට අපොහොසත් වීම කණගාටුවට කරුණකි. ඒ තත්ත්වය නිසා අද ජනතාවට අධික බදු බරක් පැටවෙමින් පවතී. ජනතාව මේ අර්බුදය හරියාකාරව මේ මොහොතේ අවබෝධ කරගත යුතු වේ.ඒ වෙනුවෙන් ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම මූලික වශයෙන් කළ යුත්තකි.එමෙන්ම රජය මේ මොහොතේ ඉතා ඉක්මනින් ආර්ථික ප්‍රතිසංස්කරණ කරා යොමුවීම වැදගත් වේ.අර්බුදයක් සෑම විටම ඉක්මන් තීරණ ඉල්ලා සිටී. එමෙන්ම තීරණ ගැනීම් සහ ක්‍රියාත්මක කිරීම වේගවත් විය යුතුයි. නිවැරදි විය යුතුයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ මිත්‍රපාක්ෂික රටවල් සමඟ සාකච්ඡා කරමින් ආර්ථික අභියෝග ජය ගැනීමට සුදුසුම ක්‍රම භාවිතා කළ යුතුයි.  එම සාකච්ඡා සාර්ථක වුවහොත් රටක් වශයෙන් ආනයන වියදම හා අපනයන ආදායම අතර පවතින පරතරය පියවා ගැනීමට හැකිවනු ඇත.එමගින් යම්තාක් දුරකට අර්බුදය විසඳා ගැනීමේ  හැකියාවක් පවතී.

සාමාන්‍ය ජනතාව වෙනදාට වඩා තම ජීවන වියදම් අවම කරගෙන රජයට යම්කිසි ආකාරයක සහනයක් ලබා දීමට කටයුතු කළ යුතුය. ඛනිජ තෙල් හිඟවීම මත ප්‍රවාහන ගැටලු මේ අවස්ථාවේ ඇති වේ. එහිදී අප සිදුකළ යුතු වන්නේ පොදු ප්‍රවාහන සේවය වෙත යොමුවීමයි. කෙටි දුර ගමන් බිමන් යාම සඳහා බයිසිකල් භාවිත කිරීමට පුරුදු විය යුතුය .එය ශරීර සෞඛ්‍යයට ද හිතකර වේ. එමෙන්ම මේ මොහොත වන විට විදුලි විදුලි බිල දෙගුණ තෙගුණ වෙමින් පවතී. එම නිසාම නිවසේ විදුලි බිල අවම කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය. වායුසමීකරණ භාවිතය අඩු කිරීම, අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, විදුලිය අවම වශයෙන් වැයවන විදුලි බල්බ වෙත යොමුවීම, අවශ්‍ය ඇඳුම් එකවර මැද ගැනීම් ආදිය ඒ වෙනුවෙන් සිදුකළ හැකිය. තවද අපගේ ආහාර පරිභෝජන රටාව වෙනස් කළ යුතු කාලයයි. නිවසේ පිසින ලද ආහාර භාවිතයට යොමු වීම වැදගත්වේ .වෙළඳසැලෙන් මිලදී ගන්නා ආහාර ඉතා අධික මිල ගණන් යටතේ මේ වන විට අලෙවි වේ. එම නිසා වියදම් අවම කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වේ. එමෙන්ම අමතර ආදායම් මාර්ගයක් වෙත යොමුවීම මේ මොහොතේ ඉතාමත් සුදුසුම විකල්පයකි. කෘෂිකර්මාන්තය ,සත්ව පාලනය ,අත්කම් නිර්මාණ, අන්තර්ජාල ව්‍යාපාර වෙත යොමු වීමේ හැකියාවක් ඔබට පවතී .ධනාත්මකව සිතීම මත බොහෝ ව්‍යාපාර අවස්ථා උදාකර ගත හැකිය.

ආර්ථික අර්බුදයක් හමුවේ ජන ජීවිතය ගැටලුවලින් තොරව පවත්වාගෙන යාම සඳහා  මෙකී කරුණු ඉතාමත් වැදගත් වේ.

No comments:

Post a Comment