Tuesday, July 19, 2022

කාබනික පොහොර භාවිතය

 

රසායනික  පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයට යොමුවීම වැදගත්  වන්නේ ඇයි ?

                                   යම්කිසි ශාකයක් විසින් කාලයක් තිස්සේ පසෙහි රැඳුණු පෝෂක කොටස් උරා ගැනීමක් සිදු කරයි.එහිදී මෙම වගාවේ අස්වැන්න නෙළන විට පසෙහි අඩංගු වී තිබූ පෝෂක කොටස් ටිකෙන් ටික ශාකය උරා ගන්නා නිසා පෝෂක ඌනතාවයක් සිදුවෙයි.එම හේතු මත අප පොහොර භාවිතය සිදුකරනු ලබයි. අවම වී  ගිය පෝෂණ කොටස් නැවත ලබාදීම මෙම පොහොර යෙදීම හරහා සිදුකරයි. පොහොර වර්ග දෙකකි. රසායනික පොහොර සහ කාබනික පොහොර ලෙස එම පොහොර වර්ග හඳුන්වා දිය හැකිය. රසායනික පොහොර භාවිතයේදී වැඩිපුරම භාවිතා කරන රසායනික පොහොර ලෙස යූරියා, සුපර් පොස්පේට් ,  m.o.p යන පොහොර වර්ග පෙන්වාදිය හැකිය. එමෙන්ම කාබනික පොහොර වර්ග ලෙස කොම්පෝස්ට් ,කුකුල් පොහොරඑළු පොහොර, ගොම පොහොර, ශාක අවශේෂ, සත්ව අවශේෂ පෙන්වාදිය හැකිය. එමෙන්ම කාබනික දියර පොහොර ද වර්තමානයේ බොහෝ සෙයින් භාවිතයට ගනී.

 කාබනික පොහොර පොහොරක් වශයෙන් පමණක් නොව  කෘමිනාශකයක්, කෘමි විකර්ශකයක් ,පැළෑටි වර්ධක උත්තේජකයක්  මෙන්ම පාංශු සත්කාරයක් ලෙස ද ක්‍රියාකරයි. කාබනික පොහොර යොදන ලද වගාවකින් බැරලෝහ  හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවූ අස්වැන්නක් නෙළා ගත හැකි වේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වස  විසෙන් තොර අස්වැන්නක් ලබා ලබාගත හැකිය.

ශාකයක වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ලෙස පෝෂක දාහතක් පමණ අවශ්‍ය වේ.නමුත් රසායනික පොහොර මගින් ශාකයක  පෝෂණය වෙනුවෙන් ලබා දෙන්නේ ප්‍රධාන පෝෂක වර්ග තුනක් පමණි.ඒ නයිට්‍රජන් ,පොස්පරස් සහ පොටෑසියම් යන පෝෂක ද්‍රව්‍යයි. කාබනික පොහොර භාවිතය මගින් මෙම පෝෂක වර්ග සමතුලිතව වගාවට ලබා දීම සිදුකරන නිසාම වගාවේදී, කාබනික පොහොර ඉතාමත් වැදගත් බව පෙන්වා දිය හැකිය .කාබනික පොහොර භාවිතයේ ඇති තවත් සුවිශේෂි  වැදගත්කමක් ලෙස කැටායන හුවමාරු ධාරිතාව ඉහළ අගයක පවත්වා ගනිමින් පසේ පෝෂක ගුණයන් සුලබ කිරීම සඳහා දායකත්වය ලබා දෙයි. කැටායන හුවමාරු ධාරිතාව හෙවත්  CEC යනු පසෙහි පෝෂක සංයුතිය සඳහා බලපාන ප්‍රධාන රසායනික ලක්ෂණයක් වේ.

ඒකාබද්ධ පැලෑටි පෝෂක මූලධර්මයන්ට  අනුව කාබනික පොහොර භාවිතය මගින් රසායනික පොහොරවල කාර්යක්ෂමතාවය ඉතාමත් වැඩි මට්ටමකට ගෙන එයි. එම නිසා රසායනික පොහොර භාවිතා කරන විට කාබනික පොහොර යෙදීම ද යෝග්‍ය වේ.එහි සරල අදහස නම් කාබනික පොහොර මගින්  රසායනික පොහොර වල අඩංගු වන සංඝටක ඇද බැඳ තබාගෙන ශාකයට ලබා දීම සිදු කරයි.

එමෙන්ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන විට ශාක අවශේෂ වෙනත් සත්ව අපද්‍රව්‍ය සහ වල් පැලෑටි නිසියාකාරව  කළමනාකරණය කරනු ලබයි. එහිදී පළිබෝධ හානි වෙනත් රෝග ආදිය මගින් වගාවට සිදුවන හානිය අවම වේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී එම අපද්‍රව්‍ය ඉහළ උෂ්ණත්වයකට ලක් කරනු ලබයි. එම ක්‍රියාවලිය තුළ දී වල් පැල නැවත බෝවිය හැකි ශාකවල බීජ විනාශ වීමත්, රෝගකාරක විනාශ වීමත් සිදු වේ.කාබනික  පොහොර නිෂ්පාදනයට භාවිත කෙරෙන අපද්‍රව්‍ය, ගෘහස්ථ කැලිකසල දිරන සුලු කළමනාකරණය සිදු වන නිසා පරිසරය පිරිසිදුව අලංකාරව පවත්වා ගත හැකි වේ.

වගාව සඳහා සමබර පෝෂණයක් ලබාදීමට කාබනික පොහොරවලට හැකියාවක් පවතී.රසායනික පොහොර මගින් භූගත ජලයට බැර ලෝහ එකතු වීම සිදුවේ.නමුත් කාබනික පොහොර මගින් භූගත ජලය ආරක්ෂා කිරීම සිදු වේ. එම නිසා රසායනික  පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයට යොමුවීම වැදගත් කරුණකි.

පසේ  වර්ධනය වන ශාක වලට එම පසේ ජලය රඳවා තබා ගැනීමේ ධාරිතාව යන ලක්ෂණය අනිවාර්යෙන්ම වැදගත් වේ. මෙම කාබනික පොහොර මඟින් පසෙහි වයනය දියුණු කරයි. එමගින් පසෙහි ජලය රඳවා තබා ගැනීමේ හැකියාව ඉහළ යන නිසාම කාබනික පොහොර භාවිතය වැඩි අස්වැන්නක් ලබාදෙයි.කුඩා පැළ වලට නිසියාකාරව ජලය රඳවා තබා ගැනීම ඉතාමත් යෝග්‍ය වේ .එමෙන්ම පසට කාබනික පොහොර යොදන විට පස් අංශු විසිරි යාමට ඉඩ නොදෙයි. පසෙහි ස්ථායීතාවය කෙරෙහි මේ කාබනික පොහොර වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි.

පසක ස්ථායිතාවයට පාංශු ජීවීන් විසින් නිකුත් කරන රසායනික ශ්‍රාවයන් හේතුවක් වන බව සොයා ගෙන තිබේ. ඒ  මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුවයි.  පාංශු ජීවීන් ජීවත් වන පසක ස්ථායීතාවය ඉතාමත් ඉහළ මට්ටමක පවතී. එබැවින් පාංශු ජීවීන් රැක ගැනීමට රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතය සිදුකළ යුතුය. උදාහරණ වශයෙන් ගැඩවිල්ලන් වැනි හිතකර පාංශු ජීවීන්ගේ වාසයට කාබනික පොහොර භාවිතය වැදගත් වේ.

මෙහිදී  සඳහන් කළ  කරුණු අනුව පෙනී යන්නේ රසායනික පොහොර භාවිතයකට වඩා කාබනික පොහොර භාවිතය වගාවේ දී වාසි ගෙනදෙන බවයි.

No comments:

Post a Comment